දිවි සුරක්ෂා - MOH MADURAWALA
පසුගිය දින මිල්ලනිය ගෝල්ඩන් ජුබිලි සිංහ සමාජය මගින් "දිවි සුරක්ෂා" සෞඛ්‍ය නැංවීමට උපකාර කිරීමේ සත්කාර සේවාව යටතේ
කොරෝනා රෝගයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා මේ මොහොතේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන රෝහල් සහ මහජන සෞඛ්‍යය කාර්යමණ්ඩලය සහ රෝගීන් වෙනුවෙන් අපිට කළහැකි උපරිමය කිරීමට අපි මෙසේ උත්හසහ කරමු.
ඒ අනුව මදුරාවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහා ඉතා අවශ්‍යව තිබු රුපියල් 25000 ක් පමණ වැයකොට, වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය තොගයක් කාර්යාලයට ලබා දීමට කටයුතු කළෙමු. මෙම අවස්ථාවට මදුරාවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රධාන හෙද නිලධාරිනී දමයන්ති වනිගතුංග මහත්මිය ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමන්ලා ඇතුළු කාර්ය මණ්ඩලයඑම අවස්ථාවට එක් වුනා..එම ආයතනයේ සේවයේ නියුතු සියලුම දෙනාට සෞඛ්‍යාරක්ෂිතව සිය සේවා කටයුතුවල යෙදීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නැනෝ තාක්ෂණයෙන් නිර්මාණය කළ මුව ආවරණ, රෝගීන් හදුනා ගැනීමේ පහසුව සඳහා සිරුරේ ඔක්සිජන් ප්‍රතිශතය මනිනු ලබන OXIMETER කිහිපයක්, සර්ජිකල් මාස්ක් තොගයක් සහ පානීය ජල බෝතල් තොගයක් මෙහි දී පරිත්‍යාග කරනු ලැබුවා.
තුරු සවිය - September
සිංහාධිපති තුමාගේ "බලගැන්වූ සමාජ සේවාවක්" උදෙසා මිල්ලනිය ගෝල්ඩන් ජුබිලි සිංහ සමාජය මගින් ක්‍රියාත්මක "තුරු සවිය" ව්‍යාපෘති මාලාවේ තවත් සේවාවක් ලෙස ගොඩ ක්‍රමය භාවිතයෙන් කාබනික පොහොර සකස් කරමින් සපයා කුඹුරු අක්කර 3ක් වගාකිරීමට සලස්වන ලදී. පසුගිය කාල පරිච්චේදය තුල අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය අරඹා අවශ්‍ය කාල පරාසය නිමකරමින් ඒවා ගොවිමහත වෙත භාරදීම පසුගිය දින සිදුවිය.
ගොඩ ක්‍රමයට කොම්පෝස්ට් නිෂ්පාදනයේ පියවර:
පළමු තට්ටුව
• නිපදවීමට බලාපොරොත්තු වන ගොඩේ ප්‍රමාණයට කෝටුවකින් පොළවේ සැලැස්මක් ඇඳගන්න.
• අමුද්‍රව්‍ය සුලභතාවය මත ඉදි කරන ගොඩේ ප්‍රමාණය නිර්ණය කර ගන්න.
• අමුද්‍රව්‍ය බහුලව ඇත්නම් උපරිම පළල අඩි 5 - 6 හා උපරිම දිග අඩි 14 - 15 ක් ලෙස සලකුණු කර ගන්න.
• අමුද්‍රව්‍ය සීමාසහිත නම් කුඩා ගොඩවල් සකස් කර ගන්න.
• කොළ අතු හෝ තණකොළ රොඩු අඟල් 9 - 10 ක පමණ තට්ටුවක් පොළවේ මතුපිට අතුරන්න.(පළමු තට්ටුව)
• කොළ අතුවල මෝරපු දඬු කොටස් ගොඩේ කෙලවරෙන් අඟල් 3-4 ක් පිටතට සිටින සේ තැන්පත් කරන්න.
• එසේ සිදු කිරීමෙන් පළමු පෙරළීමට ප්‍රථම දඬු එළියට ඇද දැමීමට හැකි වේ.
• එමගින් දඬුවලින් කොළ එකිනෙක වෙන් කිරීම අවශ්‍ය නොවනු ඇත.
• එය නිෂ්පාදන වියදම අඩු වීමට හේතු වේ.
• කොළ හෝ කොළ අතු යටම තට්ටුව ලෙස දැමීමෙන් ගොඩ පතුලේ ජලය එකතු වීම වලකා ගත හැකි වේ.
• මේ හේතුව නිසා පළමු තට්ටුව ලෙස සත්ත්ව පොහොර නොයොදන්න.
දෙවන තට්ටුව
• දෙවන තට්ටුව ලෙස සත්ත්ව පොහොර හෝ දිරාපත් වීමට පහසු ශාක කොටස් තැන්පත් කරන්න.
• සත්ව පොහොර දෙවන තට්ටුව ලෙස භාවිතා කරන්නේ නම් තට්ටුවේ උස අඟල් 2-3 සිට අඟල් 8-9 ක් දක්වා වුවද වෙනස් කර ගත හැකිය.
• අමුද්‍රව්‍ය සුලභතාවය මත එම සත්ව පොහොර තට්ටුවේ උස වෙනස් කර ගත හැකිය.
• මෙම තට්ටු දෙකෙහි භාවිතා කල අමුද්‍රව්‍ය වල තෙතමනය ප්‍රමාණවත් නොවේ නම් ජලය එක් කරන්න.
• නිපදවා ගත් කොම්පොස්ට් ස්වල්පයක් (''මුහුන්'') දෙවැනි තට්ටුවේ මතුපිට සෑම ස්ථානයකම ඉසින්න.
• ග්රාමීයව සුළු පරිමාණයේ කොම්පොස්ට් නිපදවීමේදී ''මුහුන්'' ලෙස තම ගෙවත්තේ කුණු ගොඩෙන් ලබා ගත් දිරාපත් වූ කුණු රොඩු පවා භාවිතා කල හැකිය.
තුන් වන තට්ටුව
• දෙවන තට්ටුව ලෙස සත්ව පොහොර භාවිතා කළහොත් තුන්වැනි තට්ටුව ලෙස ශාක කොටස් භාවිතා කළ හැකිය.
• දෙවන තට්ටුව ලෙස ශාක කොටස් භාවිතා කළහොත් තුන් වැනි තට්ටුව ලෙස සත්ව පොහොර භාවිතා කරන්න.
රොක් පොස්පේට් සපයා ගත හැකි නම් තුන් වැනි තට්ටුව මතුපිටින් රොක්පොස්පේට් ස්වල්පයක් ඉසීම සිදු කරන්න.
ගොඩ සැකසීම
• තුන් වැනි තට්ටුවට පසු ඉහත පරිදි ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය නැවත තට්ටු ලෙස තැන්පත් කරන්න.
• තට්ටු 2 - 3 කට වරක් ''මුහුන්'' ඉසීම සිදු කරන්න.
• තට්ටු 3 - 4 කට වරක් රොක් පොස්පේට් ඉසීමද සිදු කරන්න.
• මේ ආකාරයට අමුද්‍රව්‍ය භාවිතා කර අඩි 5 - 5 පමණ උස් වන සේ ගොඩ සකස් කර ගන්න.
• ගොඩ සැකසීමේදී දිරීමට පහසු හා අපහසු අමුද්‍රව්‍ය මාරුවෙන් මාරුවට ගොඩේ තැන්පත් කරන්න.
• ශාක අමුද්‍රව්‍ය තට්ටු 2-3 කට වරක් සත්ව අපද්‍රව්‍ය තට්ටුවක් යොදන්න.
• දින 7-8 කින් ගොඩේ උස අඩුවී ඇති බව පෙනේ.
දිරාපත් කිරීම ඉක්මන් කිරීම
• දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය (වියළි කොළ, පිදුරු, ලී කුඩු වැනි දෑ) තට්ටුවක් ලෙස තැන්පත් කළ පසු ඊට උඩින් සත්ත්ව පොහොර තට්ටුවක් හෝ ''මුහුන්'' යෙදීම දිරාපත් වීම ඉක්මන් කරනු ඇත.
• දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය හා දිරාපත් වීමට පහසු අමුද්‍රව්‍ය ගොඩේ මාරුවෙන් මාරුවට තැන්පත් කිරීම වඩාත් යෝග්‍ය වේ.
• ශාක කොටස් තට්ටු 2 - 3 කට වරක් හෝ සත්ත්ව පොහොර තට්ටුවක් භාවිතා කරන්න.
• සත්ව පොහොර සපයා ගැනීමට අපහසු නම් සත්ව පොහොර තුනී තට්ටුවක් ලෙස පමණක් යොදන්න.
• සත්ව පොහොර වර්ග ගණනාවක් තිබේ නම් ඒවා ශාක කොටස් තට්ටු 2 - 3 කට වරක් විවිධ වර්ග ලෙස වෙන වෙන තට්ටු ලෙස තැන්පත් කරන්න.
තෙතමනය පවත්වා ගැනීම
• කොළ පැහැති කොළ වල තෙතමනය පවතින අතර ඒවා ඉක්මණින් දිරාපත් වේ.
• වියළි කොළ හෝ වියළි සත්ව පොහොර භාවිතා කරන විට අවශ්‍ය පමණ ජලය යොදන්න.
• මෙලෙස විවිධ තට්ටු ලෙස ගොඩක් අඩි 4 - 4.5 දක්වා උසට ගොඩ නැගීමෙන් පසු නැවත අවශ්‍ය පමණ ජලය යොදන්න.
ගොඩ ආවරණය කිරීම
• නිපදවා ගත් ගොඩට වාතය ඇතුල් වන සේ කළු පොලිතීන් හෝ පොලිසැක් බෑග් හෝ වියාගත් පොල් අතු මගින් වසා තබන්න.
• පොළව මට්ටමේ සිට අඟල් 6 සිට 12 ක් පමණ උසකින් ආවරණය පවත්වා ගැනීමෙන් ගොඩට වාතය ඇතුල්වීමට හා පිටවීමට හැකිවේ.
• ගොඩ තුළට හොඳින් වාතාශ්‍රය ලැබීමෙන් දිරාපත් වීම ඉක්මනින් සිදුවේ.
ගොඩේ තෙතමනය පරීක්ෂා කිරීම
• දින 6 - 7 කට පසු වැස්ම ඉවත්කර උල් කරගත් ලීයක් ගොඩ තුළට ඇතුල් කර එය එළියට ගෙන ලීයේ කෙළවර අතගා බැලීමෙන් ගොඩේ තෙතමනය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිවේ.
• වියළි කාලයේදී අඩු කාලාන්තරයකින් ජලය යෙදීමට සිදුවන අතර වර්ෂා කාලයේදී ජලය යෙදිය යුතු කාලාන්තරය වැඩි වනු ඇත.
• තෙතමනය අඩු නම් ලීයක් මගින් ගොඩේ මතුපිට සිදුරු කීපයක් සාදා ජලය යොදන්න.
• ජලය යෙදීමෙන් පසු ගොඩ නැවත පෙර පරිදි වසා තබන්න.
• පළමු පෙරලීම මාසයකින් පමණ සිදු කරන තෙක් මෙලෙස සතියකට වරක් තෙතමනය පරීක්ෂා කර අවශ්‍ය නම් ජලය යොදන්න.
පළමු පෙරළීම
• මාසයකට පමණ පසු ආවරණය ඉවත් කර ගොඩ හොඳින් පෙරලන්න.
• එහිදි දිරූ නොදිරූ කොටස් හොඳින් කලවම් වන සේ පෙරලීම සිදු කරන්න.
• ගොඩ පෙරලීමේදී ''මුහුන්'' ඉසීම සිදුකර හොඳින් කලවම් කරන්න.
• එමඟින් ''මුහුන්'' ගොඩේ සියළුම ප්‍රදේශ වලට මිශ්රවීම සිදුවේ.
• එසේ පෙරලන අවස්ථාවේදී ''මුහුන්'' එකතු කර කලවම් කිරීම සිදු නොකරන්නේ නම් ගොඩේ තිබු අමුද්‍රව්‍ය අඟල් 9 ක තට්ටුවක් ලෙස තැන්පත් කර එම තට්ටුව මතුපිටට ''මුහුන්'' ඉස නැවත ගොඩ සැකසිය හැකිය.
පළමු පෙරලීම සිදුකිරීමෙන් පසු පෙර සඳහන් කළ පරිදි නැවත වැසූ ගොඩ දින 6 - 7 කට වරක් තෙතමනය පරීක්ෂා කර බලා අවශ්‍ය නම් ජලය යෙදිය යුතුය
දෙවන පෙරළීම
• ගොඩ නිපදවීමෙන් මාස 2 කට පමණ පසු නැතහොත් පළමු පෙරලීමෙන් මාසයකට පමණ පසු ආවරණය ඉවත් කර දෙවන පෙරලීම සිදු කරනු ලැබේ.
• මෙම පෙරලීමද පළමු පෙරලීම පරිදි සිදු කරනු ලැබේ. අවශ්‍ය නම් ජලය යෙදීමද සිදු කරන්න.
• එහිදී ද ''මුහුන්'' එකතු කර කලවම් කිරීම හෝ අඟල් 9 ක තට්ටුවකට වරක් ''මුහුන්'' යෙදීම සිදු කළ යුතුය.
• දෙවන පෙරලීමෙන් පසුද පළමු පෙරලීමෙන් පසු මෙන්ම ගොඩ ආවරණය කර තබනු ලැබේ.
• ඉන් පසුවද දින 6 - 7 කට වරක් තෙතමනය පරීක්ෂා කර බලා අවශ්‍ය නම් ජලය යෙදීම සිදු කරන්න.
තුන්වන පෙරළීම
• ගොඩ නිපදවීමෙන් මාස 3 කට පසුව නැතහොත් දෙවැනි පෙරලීමෙන් මාස 1 කට පමණ පසුව තුන්වන පෙරලීම සිදු කරනු ලැබේ.
• මෙම පෙරලීමද පළමු හා දෙවන පෙරලීම මෙන් සිදු කර නැවත ගොඩ සකස් කර වසා තබනු ලැබේ.
• මේ අවස්ථාව වන විට බොහෝ අමුද්‍රව්‍ය දිරාපත් වී ඇති අතර නිෂ්පාදනය වූ කොම්පෝස්ට් අවශ්‍ය අවස්ථාවක පාවිච්චියට ගත හැකිය.
• තුන්වන පෙරලීමෙන් පසු කොම්පෝස්ට් සාර්ථකව නිෂ්පාදනය අවසන් වූ පසු ගොඩ සම්පූර්ණයෙන් වසා තැබීම වඩාත් යෝග්‍ය වේ එයට හේතුව කොම්පෝස්ට් ගොඩේ කෘමීන් බිත්තර දැමීම මින් වලක්වා ගතහැකි බැවිනි.
• කොම්පෝස්ට් ගොඩක් උපරිම ලෙස තුන් වරක් පෙරලීම ප්‍රමාණවත් වේ.
• වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී මෙලෙස නිෂ්පාදනය කරගත් කොම්පෝස්ට් මිලිමීටර් 4 දැලකින් හලා බෑග් කර වෙළඳපොලට ඉදිරිපත් කළ හැකිය.
• එසේ හලාගත් පසු දැලේ ඉතිරිවන නොදිරූ රළු කොටස් නැවත කොම්පෝස්ට් ගොඩකට එක්කර අමුද්‍රව්‍ය ලෙස භාවිතා කළ හැකිය.
නිෂ්පාදනය කල කොම්පෝස්ට් හි තෙතමනය පරීක්ෂා කිරීම
• නිෂ්පාදනය කර ගත් කොම්පෝස්ට් ස්වල්පයක් අතට ගෙන හොඳින් මිරිකන්න.
• ඇඟිලි අතරින් ජලය බිංදු පිටවන්නේ නම් කොම්පෝස්ට් හි අන්තර්ගත තෙතමනය වැඩි බව හැඟී යනු ඇත.
• එසේ කිරීමේදී ජලය පිට නොවී දුර්වල තත්වයේ පහසුවෙන් කැඩෙන කොම්පෝස්ට් ගුලියක් සේ නිර්මාණය වන්නේ නම් ප්‍රශස්ථ තෙතමනයක් ඇති බව වටහා ගත හැකිය.
• වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී නම් තෙතමනය රසායනාගාරයකින් නිවැරදිව නිර්නය කර ගැනීම වැදගත්ය.
මනු සවිය 16.09.2021
සිංහාධිපති තුමාගේ "බලගැන්වූ සමාජ සේවාවක්" උදෙසා මිල්ලනිය ගෝල්ඩන් ජුබිලි සිංහ සමාජය මගින් ක්‍රියාත්මක "මනු සවිය" ව්‍යාපෘති මාලාවේ තවත් සේවාවක් ලෙස මෙම කොරෝනා වසංගත සමයේ අඩු අදායම් ලාභී සහ අබාධිත සාමාජිකයින් සහිත පවුල් සඳහා රුපියල් 7000ක් බැගින් වටිනා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය මලු ගෙදරටම ලබාදීම පසුගිය දින සිදුකරන ලදී. එම අවස්ථාවන්ට මිල්ලනිය ලියෝ සාමාජිකයින්ද එක්ව සිටින ලදී.